YouVersion Logo
Search Icon

ගීතාවලිය 30

30
සුවය ගැන ප්‍රශස්ති ගීයක්
දාවිත්ගේ ගීතයකි. දේව ගෘහය කැප කිරීමේ ගීතයකි.
1ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳුනි, ඔබට ප්‍රශස්ති ගී ගයමි.
2මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
3සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක;
මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක.
4පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න;
ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.
5මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය.
එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය.
රැයේ හැඬීම පවතියි;
උදය ප්‍රීතිය උදා වෙයි.
6“සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.
7සමිඳුනි, ඔබේ කරුණාවෙන් ඔබ මා නොසැලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක.
එහෙත්, ඔබ මා කෙරෙන් සැඟවුණ විට, මම කැළඹුණෙමි.
8සමිඳුනි, ඔබට හඬගැසීමි;
සමිඳුන් හට කන්නලව් කෙළෙමි.
9මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද?
පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?
10සමිඳුනි, සවන් දී මට කරුණා කළ මැනව.
සමිඳුනි, ඔබ මාගේ සරණ වුව මැනව.
11ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක.
ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.
12දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි.
ඔබට ගී පසස් ගයන්නෙමි.
මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in