හිතෝපදේශ 27:1-14
හිතෝපදේශ 27:1-14 NRSV
“අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න. අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා; අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න. ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය. කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද? කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය. මිතුරාගෙන් වන රිදුම හිතවත්කමේ ලකුණකි. සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙර නිමිත්තකි. කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ. සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය. සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි; හිරිහැර, කරදර සිත දෙදරවයි. ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය. මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න. නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි. අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න. ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.





