YouVersion Logo
Search Icon

හිතෝපදේශ 13:13-25

හිතෝපදේශ 13:13-25 NRSV

ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි. පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි. හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි. බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි. අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි. අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත. මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය. නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත. විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි. සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි. වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත. වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි. දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.