YouVersion Logo
Search Icon

ගණන් කථාව 23:13-30

ගණන් කථාව 23:13-30 NRSV

බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය. මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය. ඉන්පසු බාලාම් බාලාක්ට කතා කොට, “ඔබේ දවන යාග පූජාව ළඟ ඔබ සිටින්න. මම අතනට ගොස් සමිඳාණන් වහන්සේ හමුවෙමි”යි කී ය. සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක. බාලාම් ඔහු වෙත ගිය විට බාලාක් හා මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. බාලාක් ද, “සමිඳාණන් වහන්සේ කුමක් කීවේ දැ”යි විචාළේ ය. එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න; දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද? බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය. ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති. දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත. පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.” එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔවුන්ට සාප කිරීමට අකමැති නම්, යටත් පිරිසෙයින් ඔවුන්ට ආසිරි නොපතන්නැ”යි කී විට, ඔහු උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ කියන දේ මා කළ යුතු බව මම ඔබට කලින් නොකීවෙම් දැ”යි ඇසී ය. ඉන්පසු බාලාක් බාලාම්ට කතා කොට, “එන්න, කරුණාකර, මම ඔබ වෙනත් තැනකට ගෙන යමි. ඇතැම් විට එතැන සිටවත් මා වෙනුවෙන් මොවුන්ට සාප කිරීමට දෙවියන් වහන්සේ ඔබට අවසර දෙත හැකි ය”යි කී ය. මෙසේ කියා, ඔහු කාන්තාරය ඉදිරිපිට වූ පෙයොර් නම් කඳු මුදුනට බාලාම් ගෙනාවේ ය. ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය. බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.

Video for ගණන් කථාව 23:13-30