ගණන් කථාව 13:26-31
ගණන් කථාව 13:26-31 NRSV
පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ. ඔව්හු මෝසෙස් අමතා, “ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු. එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු, අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ. එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය. එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, “සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ.





