YouVersion Logo
Search Icon

ගණන් කථාව 13:25-33

ගණන් කථාව 13:25-33 NRSV

දවස් හතළිහකට පසු ඔව්හු රටේ ඔත්තු බලා ආපසු පැමිණියහ. පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ. ඔව්හු මෝසෙස් අමතා, “ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු. එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු, අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ. එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය. එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, “සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ. මෙලෙස ඔව්හු තමන් ඔත්තු බැලූ රට ගැන අසත්‍ය වාර්තාවක් ඉශ්රායෙල් ජනයාට දෙමින්, “අප ඔත්තු බැලීමට ගිය රට නම්, වැසියන් කාදමන රටකි. එහි අප දුටු මිනිසුන් සියල්ලෝ ම උස මහත මිනිස්සු ය. එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.

Video for ගණන් කථාව 13:25-33

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 13:25-33