YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 25:14-23

ශුද්ධවර මතෙව් 25:14-23 NRSV

“ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර දී පිටරට බලා ගියේ ය. ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය. රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය. එලෙස ම රිදී දෙදාහ ලැබූ තැනැත්තේ ද තවත් දෙදාහක් උපදවා ගත්තේ ය. එහෙත් දාහක් ලැබූ තැනැත්තේ ගොස්, පොළොවේ වළක් හාරා, ස්වාමියාගේ මුදල සඟවා තැබී ය. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලී ය. රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය. රිදී කාසි දෙදාහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ රිදී කාසි දෙදාහක් මට භාර දුන්නෙහි ය; මෙන්න, තවත් රිදී කාසි දෙදාහක් උපදවා ගතිමි’යි කී ය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.