ශුද්ධවර ලූක් 23:26-34
ශුද්ධවර ලූක් 23:26-34 NRSV
ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ. පොදු ජනයාගෙන් ද උන් වහන්සේ නිසා හඬා වැලපෙන ස්ත්‍රීන්ගෙන් ද යුක්ත වූ විශාල පිරිසක් උන් වහන්සේ පසුපස්සේ, ගමන් ගත්හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරී, “ජෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬන්න, ඔබ සහ ඔබේ දරුවන් නිසා ම හඬන්න. වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය. ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය. මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක. මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක් ද උන් වහන්සේ සමඟ ගෙන යන ලදහ. ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ. ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.





