ශුද්ධවර ලූක් 14:7-24
ශුද්ධවර ලූක් 14:7-24 NRSV
ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්, “යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න. යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ. එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය. තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක. උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, “ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක. එහි සිටි අයගෙන් කෙනෙක් එවදන් අසා, “දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ජේසුස් වහන්සේට කී ය. එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙසේ වදාළ සේක: “එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය. භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය. එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙන් ඉල්ලමි’යි ඔහුට කී ය. තව කෙනෙක්, ‘මම ගොන් පස් බානක් මිළ දී ගතිමි; ඔවුන් වැඩට හොඳ ද කියා අත්හදා බලන්න යමි; මට කමා වන මෙන් ඉල්ලමි’යි ඔහුට කී ය. තවත් කෙනෙක්, ‘මම ස්ත්‍රියක විවාහ කර ගතිමි; එබැවින් එන්න නොහැකි ය’යි කී ය. ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙහි ගෙනෙව’යි සිය දාසයාට කී ය. දාසයා ද, ‘ස්වාමීනි ඔබ අණ කළ ලෙස කෙළෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැ’යි කී ය. එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය. මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක් වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේ ය.”





