ලෙවී ව්‍යවස්ථාව 4:13-21
ලෙවී ව්‍යවස්ථාව 4:13-21 NRSV
“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පණතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්, ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය. ප්‍රජා මූලිකයන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒ වස්සාගේ හිස පිට අත් තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආලේප ලත් පූජකවරයා ද වස්සාගේ ලේ මඳක් සම්මුඛ මණ්ඩපයට ගෙනා යුතු ය. පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය. ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය. ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය. පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ. ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”



