ජෝෂු 6:1-17
ජෝෂු 6:1-17 NRSV
ජෙරිකෝව ඉශ්රායෙල් ජනයාගෙන් ආරක්ෂා කරගනු පිණිස එය අගුල් දමා වසා තිබුණේ ය. කිසිවෙකු පිටතට ගියේ වත්, ඇතුළතට ආවේ වත් නැත. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි. යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය. පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා! තවද, ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට, ඒ හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණු කල, සකල ජනයා මහත් ඔල්වර හඬක් නඟත් වා! එවිට නුවර පවුර ඇද වැටෙන්නේ ය. සෙනඟ ද එකිනෙකා කෙළින් ම නුවර ඉදිරියට යන්නෝ යැ”යි වදාළ සේක. එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය. ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය. ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය. සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. ජෝෂුවා සෙනඟට අණ කරමින්, “ඔල්වර හඬ නඟන්නට මා ඔබ හැමට කියන දවස දක්වා ඔබ හැම ඔල්වර හඬ නොනැඟිය යුතු ය. ඔබ හැමගේ කට හඬ ඇසෙන්නට වත්, ඔබේ කටින් කිසිවක් නික්මෙන්නට වත් නොදිය යුතු ය. මා අණ කළ විට ඔල්වර හඬ නැඟිය යුතු ය”යි කීවේ ය. මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය. පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය. පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය. මෙසේ දෙ වන දවසේ දී නුවර වටේට එක වරක් ගොස් ඔව්හු ආපසු කඳවුරට ආවෝ ය. හය දවසක් ඔව්හු එසේ කළෝ ය. සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය. සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.





