YouVersion Logo
Search Icon

ජෝෂු 2:1-14

ජෝෂු 2:1-14 NRSV

නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ. එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය. මේ දේ ඇසූ ජෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ වෙත පැමිණ ඔබේ ගෙට ඇතුළු වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද, ඔවුන් පැමිණ සිටින්නේ මුළු දේශයේ ඔත්තු බලන පිණිස ය”යි දැන්වී ය. ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, “මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි. ඇරත්, කළුවර වැටී වාසල් දොරටුව වසන වේලාව පැමිණෙද්දී ඒ මිනිස්සු පිටත් ව ගියෝ ය. ඔවුන් කොහේ ගියා දැ යි මම නොදනිමි. ඉක්මනින් ඔවුන් ලුහුබැඳ යන්න. තවම ඔවුන් අල්ලාගන්නට හැකි වන්නේ ය”යි පැවසුවා ය. රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය. රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය. ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්, ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි. ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි. ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න. මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.” එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, “අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය.