YouVersion Logo
Search Icon

ජෝෂු 1

1
කානාන් දේශය අත්කර ගැනීමට සූදානම
1සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක: 2“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න. 3#ද්වි.නී. 11:24-25 මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි. 4පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත. 5#ද්වි.නී. 31:6,8; හෙබ්‍රෙ 13:5 දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත. 6#ද්වි.නී. 31:6-7,23 ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය. 7මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න. 8මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත. 9ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”
10එවිට ජෝෂුවා සෙනඟගේ නිලධාරීන් අමතා, 11“ඔබ කඳවුර මැදින් ගොස් සෙනඟට කතා කොට, ‘දෙවි සමිඳාණන් වහන්සේ උරුමය වශයෙන් ඔබට දෙන දේශය හිමි කරගැනීමට තව දවස් තුනකින් ඔබ හැම මේ ජොර්දාන් ගඟින් එතෙර යන හෙයින් ඒ සඳහා කෑම සූදානම් කරගන්න’ කියා අණ කරන්නැ”යි කීවේ ය.
12 # ගණන් 32:28-32; ද්වි.නී. 3:18-20; ජෝෂු 22:1-6 ඉන්පසු ජෝෂුවා රූබන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද කතා කොට, 13“සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඔබ හැමට අණ කරමින් කී දේ, එනම්, ‘දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැමට විවේක ස්ථානයක් සඳහා මේ දේශය දෙන සේක’ යන්න සිහිකරන්න. 14මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත. 15දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය.
16එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු. 17සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා! 18යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.

Currently Selected:

ජෝෂු 1: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy