YouVersion Logo
Search Icon

ජෝනා 1

1
ජෝනා දේව අණට අකීකරු වීම
1 # 2 රාජා 14:25 සමිඳාණන් වහන්සේගෙන් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවුඩය මෙසේ ය: 2“නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.” 3එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.
4එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය. 5එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය.
6එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, “ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය.
ජෝනා මුහුදට බිලි දෙනු ලැබීම
7එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි. 8එවිට ඔව්හු ජෝනාගෙන් ප්‍රශ්න කරමින්, “අපට පැමිණි මේ වින්නැහියට වගකිව යුත්තේ කවරෙක් ද? ඔබේ රැකියාව කුමක් ද? ඔබ කොහේ සිට ආවෙහි ද? ඔබේ රට කුමක් ද? ඔබේ ජාතිය කුමක් දැ”යි ඇසූ හ.
9ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය. 10ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, “ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ.
11කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.
12“මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.
13කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.
14එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
15ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි. 16මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.
17 # මතෙ 12:40 සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.

Currently Selected:

ජෝනා 1: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy