YouVersion Logo
Search Icon

ජෝබ් 31

31
ජෝබ් නිදොස් බව කියා සිටීම
1“දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළ‍න්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.
2ඉහළ වසන දෙවිඳුන්ගෙන් වන ප්‍රතිවිපාක ද සගලොව සව් බලැති එතුමාණන් නියම කළ ඉරණම ද කාට නම් කිව හැකි ද?
3අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.
4එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?
5මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,
6දැහැමි බව නමැති තරාදියෙහි දමා එතුමාණෝ මා කිරා බලන සේක් නම්, මා අවංක බව දැන ගනු ඇත.
7මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,
8මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා!
මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!
9අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,
10මාගේ ම බිරිඳ අන් කෙනෙකුට බැල මෙහෙවර කරා වා!
අන් පුරුෂයෝ ඇය සමඟ සයනය කරත් වා!
11මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.
12එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි;
එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.
13මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,
14දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද?
දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?
15කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද?
මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?
16මම කිසි දා දිළිඳුන්ට පිහිට නොවී නොසිටියෙමි.
වැන්දඹුවක දුක් බරින් පසු වන්නට ඉඩ නොහැරියෙමි.
17පියා නැත්තා හට කෑම ටිකක් නොදී මම තනියම කෑම නොකෑවෙමි.
18මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි;
උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.
19වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,
20මම මාගේ ම බැටළු ලොම්වලින් ඔවුන්ගේ ඇඟ උණුසුම් කෙළෙමි.
එවිට ඔව්හු හද පත්ලෙන් මට ප්‍රශංසා කළෝ ය.
21උසාවියේ දී මාගේ පැත්ත ගන්න අය සිටින බව මා දන්න නිසා, මම නිදොස් අයට විරුද්ධ ව අත එසවීම් නම්,
22මාගේ උරහිස එහි හන්දියෙන් ගැලවී වැටේ වා!
මාගේ අත වැලමිටෙන් බිඳී යේ වා!
23මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය;
එතුමාණන්ගේ මහානුභාවයට මුහුණ දීමට මට ශක්තියක් නො වී ය.
24මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.
25මාගේ යසඉසුරු ගැන වත්, මා උපයා ගත් වස්තුව ගැන වත් අහංකාර නොවූයෙමි.
26මම කවදාවත් ප්‍රතාපවත් හිරු දෙවියන්ට හෝ රුවින් යුත් සඳ දෙවියන්ට හෝ නමස්කාර නොකෙළෙමි.
27හස්තමුද්‍රාවෙන් සිඹීමේ පෙම් ලකුණ දක්වා, ඔවුන් නමදින පිණිස මට පෙළඹීමක් නො වී ය.
28එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි.
එවන් පාප ක්‍රියාවකට යුතු දඬුවම මරණය වේ.
29මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි.
ඔවුන් විපතට අසු වූ විට ප්‍රීති නොවූයෙමි.
30‘ඔවුන්ට මරණය පැමිණේ වා’යි සාප කිරීමෙන් හෝ දෙස් කීමෙන් හෝ මම පව් නොකෙළෙමි.
31මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.
32අමුත්තන්ට පිටත වීදිවල රැය ගත කිරීමට නෑර මම ඔවුන් මාගේ නිවෙසට පිළිගතිමි.
33වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති;
එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.
34සෙනඟගේ කටකතාවලට බියෙන් වත්, මිනිසුන්ගේ අපරාධ නිසා කැළඹීමෙන් වත් මම නිහඬ වී, ගේ ඇතුළට වී නොසිටියෙමි.
35අහෝ!
මට සවන් දෙන කෙනෙක් නැද් ද?
මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි.
සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා!
මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
36සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි;
හිස මත කිරුළක් මෙන් පළඳින්නෙමි.
37මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි;
රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.
38මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්,
39මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,
40මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!”
ජෝබ්ගේ කතාව නිමි.

Currently Selected:

ජෝබ් 31: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in