YouVersion Logo
Search Icon

ජෝබ් 2:1-10

ජෝබ් 2:1-10 NRSV

නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය. සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක. සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද? හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය. එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය. ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය. එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, “ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය. එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.