YouVersion Logo
Search Icon

ජෝබ් 19

19
ජෝබ්ගේ පිළිතුර
1ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද?
3දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය;
විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය.
4මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.
5එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්,
6මම එකක් කියමි:
මා වරදට පත් කෙළේ, දෙවිඳුන් බවත්, දැලක් දමා මා වටකර ඇත්තේ, එතුමන් බවත් දැනගන්න.
7මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත.
පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.
8මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත.
9එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත.
10මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.
11එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත.
12මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත.
ඔවුන් මාගේ කූඩාරම වටලාගෙන ඇත.
13එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත.
මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති.
14මාගේ ඥාතීහු අහක් ව ගියහ.
මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ.
15අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති.
මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත.
16සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි;
ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත.
17මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය;
එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි.
18බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති;
මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.
19මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති;
මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.
20මාගේ ඇටකටු හමට ඇලී ඇත;
මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.
21මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න;
මට අනුකම්පා කරන්න.
දෙවිඳාණෝ මට පහර දුන් සේක.
22දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද?
මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද?
23“අනේ!
මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද?
ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්!
24යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්,
කොපමණ හොඳ ද?
මට එක දෙයක් සහතික ය:
25එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.
26කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.
27මම ම එතුමාණන් දකිමි;
අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි.
28මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්,
29කඩුපතට බිය වන්න;
මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි.
එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”

Currently Selected:

ජෝබ් 19: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in