YouVersion Logo
Search Icon

ජෝබ් 16

16
ජෝබ්ගේ පිළිතුර
1ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත;
ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.
3සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද?
මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?
4මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය;
ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.
5එහෙත්, මම එසේ නොකරමි;
මම දිරිය වඩන වචන ම කියමි;
එවිට මාගේ අස්වැසිල්ල දිය පාරක් මෙන් ගලා යනු ඇත.
6මා කතා කළත් මාගේ දුක තුනී වන්නේ නැත.
මා නිහඬ ව සිටියත් මට ඇති සහනය කුමක් ද?
7සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත;
ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;
8ඔබ මා කය පොඩි කර ඇත;
මම ඇටකටු ගොඩක් පමණි.
එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි.
9එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත.
එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.
10මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ.
ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ.
11දෙවිඳුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත;
දුදනන් වෙත මා පලවා හැර ඇත.
12එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි.
එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක.
එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ.
එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ.
13එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ;
එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක;
පිත බිම වගුරුවන සේක;
14පහර පිට පහර දී මාගේ ආරක්ෂා පවුර බිඳ දමන සේක.
නිර්භීත සෙබළෙකු මෙන් එතුමාණෝ මට විරුද්ධ ව දුව එන සේක.
15මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි.
16හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත;
මාගේ ඇස් වටා කළු වී ඇත.
17මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.
18එම්බා මිහිකත!
මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න.
මාගේ අඳෝනාව අවසන් නො වේ වා!
19 # ජෝබ් 19:25 මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත.
මට පක්ෂ ව කතා කරන කෙනෙක් උසස් ස්ථානයෙහි වසයි.
20මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි.
මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.
21මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!
22ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි.
මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.

Currently Selected:

ජෝබ් 16: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in