ශුද්ධවර ජොහන් 9:1-27
ශුද්ධවර ජොහන් 9:1-27 NRSV
උන් වහන්සේ වඩිනා කල්හි, උපන් දා සිට අන්ධ වූ මිනිසෙකු දුටු සේක. “ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය. දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය. මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක. මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා, “ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය. අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, “මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ. “මේ ඔහු ම ය”යි සමහරු කී හ. “නැත, ඔහු නොවේ, ඔහුට සමාන අන් අයෙකැ”යි වෙනත් අය, කී හ. එහෙත්, “මම ඒ මිනිසා ම ය”යි ඔහු කී ය. “එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය. “ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. “මම නො දනිමි”යි ඔහු කී ය. ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ. ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය. එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය. එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය. එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට, “නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නම්, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ”යි ඇසූ හ. “ඔහු නම් දිවැසිචරයෙකැ”යි හෙතෙම පිළිතුරු දුන්නේ ය. ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ. “මේ මිනිසා ඔබේ පුතා ද? ඇත්තට ම ඔහු අන්ධ ව උපන්නේ ද? එසේ නම් දැන් ඔහුට පෙනෙන්නේ කෙසේ දැ”යි ඔව්හු දෙමවුපියන්ගෙන් ප්‍රශ්න කළහ. ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්, “මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු. එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ. ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි. ඒ නිසා ඔහුගේ මවුපියෝ, “ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ. ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ. එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය. එවිට ඔව්හු, “ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “මම කලින් ඔබට කීවෙමි, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ”යි ඇසී ය.





