ශුද්ධවර ජොහන් 3:1-10
ශුද්ධවර ජොහන් 3:1-10 NRSV
එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය. ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක. නිකොදේමුස්, කතා කරමින්, “මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය. කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය; ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක. “මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ගුරුවරයකු ව සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකි ද?





