YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 2:14-22

ශුද්ධවර ජොහන් 2:14-22 NRSV

එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක, ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, “මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක. “ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය. එකල ජුදෙව්වරු, “ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක. එවිට ජුදෙව්වරු කතා කොට, “මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ. එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය. උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ජොහන් 2:14-22