YouVersion Logo
Search Icon

ජෙරමියා 20:7-18

ජෙරමියා 20:7-18 NRSV

අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති. මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ. ‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය. කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති. එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය. සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. සමිඳුන්ට ගී ගයන්න; එතුමාණන් පසසන්න. මන්ද, එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක. මා උපන් දවසට සාප වේ වා! මාගේ මවු මා වැදූ දවසට ද ආසිරි නො වේ වා! “ඔබට පිරිමි දරුවෙක් උපන්නේ ය” කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත් කළ මිනිසාට සාප වේ වා! ඒ මිනිසා, සමිඳුන් නිර්දය ලෙස විනාශ කළ නගර මෙන් වේ වා! උදෑසන අනතුරු ඇඟවීම ද මද්දහනේ යුද ගොස ද ඔහුට ඇසේ වා! එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය. මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි. දුකත්, ශෝකයත් දැකීමට ද මාගේ දවස් ලජ්ජාවෙන් පසු කරන්නට ද මවු කුසෙන් මා නික්ම ආවේ මන් ද?

Video for ජෙරමියා 20:7-18

Free Reading Plans and Devotionals related to ජෙරමියා 20:7-18