YouVersion Logo
Search Icon

වීරාවලිය 16:22-30

වීරාවලිය 16:22-30 NRSV

ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය. සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ. ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුළුණු අතරේ ඔහු සිටෙවුවෝ ය. සම්සොන් තමාගේ අත අල්ලාගෙන සිටි තරුණයාට කතා කොට, “මේ ගෘහය පිහිටා තිබෙන කුළුණුවලට මා හාන්සි වන පිණිස ඒවාට අත ගසා බලන්නට මට ඉඩ දෙන්නැ”යි කීවේ ය. ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය. සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය. එවිට සම්සොන් ගෘහය පිහිටා තිබුණු මැද කුළුණු දෙක, එකක් දකුණතින් ද එකක් වමතින් ද අල්ලා තමාගේ මුළු ශක්තිය යොදා, පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.

Free Reading Plans and Devotionals related to වීරාවලිය 16:22-30