YouVersion Logo
Search Icon

ජාකොබ් 2:1-13

ජාකොබ් 2:1-13 NRSV

මාගේ සහෝදරයෙනි, ඔබ තේජශ්‍රීයෙන් වැජඹෙන, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා, මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න. රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු. ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, “කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, “උඹ ඔතන හිටපන්”, නැත්නම් “මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්, ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද? මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද? එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්, ඔබ දරන උතුම් නාමයට අපහාස කරන්නෝත් ඔව්හු නොවෙත් ද? එසේ වුව ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජ නීතිය පවත් වන්නහු නම්, ඔබ කරන දෙය කදිම යි. එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි. මන්ද, යමෙකු මුළු ව්‍යවස්ථාව පිළිපැද්දත්, ඉන් එක අණක්වත් කඩ කළොත්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වෙයි. “කාමමිථ්‍යාචාරය නොකරව”යි වදාළ තැනැන් වහන්සේ ම, “මිනී නොමරන්න” කියාත් කී සේක. ඉදින් ඔබ කාමමිථ්‍යාචාරය නොකළත්, මිනී මරන්නෙහි නම්, ව්‍යවස්ථාව කඩ කරන්නෙක් වන්නෙහි ය. නිදහස සලසන ව්‍යවස්ථාවකින් විනිශ්චය ලැබීමට සිටින අය මෙන් කතා කරන්න. ක්‍රියා කරන්න. දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.