යෙසායා 47:8-15
යෙසායා 47:8-15 NRSV
‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි. මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න. මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය. එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත. නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය. ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය. නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක. ඉතින් නක්ෂත්‍රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා! ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත. ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය. තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”


