යෙසායා 43:14-28
යෙසායා 43:14-28 NRSV
ඔබේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා ගළවන පිණිස මම බබිලෝනියට විරුද්ධ ව හමුදාවක් යවන්නෙමි. ඔවුන්ගේ නගරයේ දොරටු මම බිඳ හෙළන්නෙමි. බබිලෝනිවරුන්ගේ කෑගැසීම වැලපීමට හැරෙන්නේ ය. මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.” බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක. එහි බලවත් හමුදාවක් ද රථවාහන හා අශ්වයන් ද එතුමාණෝ විනාශකළ සේක. ඔව්හු නැඟිටිය නොහැකි සේ එහි වැටුණෝ ය. පහන් තිරයක දැල්ල නිවී යන්නාක් මෙන් ඔව්හු නැතිවී ගියෝ ය. එහෙත්, සමිඳාණෝ මෙසේ වදාරන සේක: “පසුගිය දේ සිහි නොකරන්න; පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වේ; නුඹලාට එය නොපෙනේ ද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා, එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි. මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය. ඔව්හු, මා උදෙසා ම, මා විසින් මවන ලද සෙනඟ ය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත.” සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය. නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත. නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය. එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය. අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න. නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය. නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”





