YouVersion Logo
Search Icon

යෙසායා 26

26
දෙවියන් වහන්සේගේ සෙනඟට ජය
1ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය.
අපට බලවත් නුවරක් ඇත.
කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.
2හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව.
3තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.
4සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න.
එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.
5එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක;
ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක.
එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක.
6පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති.
ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.
දෙවිඳුන්ගේ යුක්තිය ගැන පැසසුම්
7සමිඳුනි, ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත;
ඔවුන් යන මඟ සමතලා කර ඇත.
8අපි ඔබ කැමැත්ත අනුව යමු;
අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.
අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය.
9රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි.
ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි.
ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය.
10දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත්, යුක්තිය කුමක් දැ යි ඔව්හු කිසි කලෙක ඉගෙන නොගනිති.
දමිටු අය සිටින මේ දේශයෙහි වුව ද තවමත් ඔව්හු වැරදි කරන්නෝ ය.
ඔබේ මහිමතාව ඔව්හු නොපිළිගන්නෝ ය.
11 # හෙබ්‍රෙ 10:27 ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත.
එහෙත්, ඔව්හු ඒ බව නොදනිති.
සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව.
ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා!
ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.
12සමිඳුනි, ඔබ අපට සෞභාග්‍යය දෙන සේක.
අප ඉෂ්ට කරන හැම දේ ඔබේ ක්‍රියාවේ ප්‍රතිඵලයකි.
13අපේ දේව ස්වාමීනි, ඔබ හැර අන් ස්වාමිවරු ද අප පාලනය කළෝ ය.
එහෙත්, ඔබ පමණක් ස්වාමීහු ය.
ඔබේ නාමය පමණක් අපි පිළිගනිමු.
14දැන් ඔවුන් මිය ගොස් ඇත;
නැවත ජීවත් වන්නේ නැත.
ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත.
ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.
15සමිඳුනි, ඔබ අපේ ජාතිය වර්ධනය කළ සේක;
දේශයේ සීමා විශාල කළ සේක.
මේ නිසා ඔබට ගෞරවය ලැබී ඇත.
16සමිඳුනි, ඔබ සිය සෙනඟට දඬුවම් කළ විට, ඔව්හු දුක් බරින් ඔබ සොයමින් ඔබට යාච්ඤා කළහ.
17එසේ ය සමිඳුනි, වේලාව පැමිණි විට, ගර්භණියක ප්‍රසව වේදනාවෙන් කෑගසන්නාක් මෙන් කෑගැසීමට ඔබ අපට සැලැසූ සේක.
18ගර්භණියක මෙන් කටුක වේදනා වින්ද නමුත්, අපි කිසිවක් බිහි නොකෙළෙමු;
අපේ මවුබිම උදෙසා කිසිදු ජයක් නොලදිමු.
කිසි ම දෙයක් ඉෂ්ට නොකෙළෙමු.
19 # දානි 12:2 අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත;
ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත.
සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා!
බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.
විනිශ්චයය හා පුනරුත්ථාපනය
20මාගේ සෙනඟෙනි, නුඹලාගේ ගෙවලට ඇතුළු වී, දොරවල් වසාගෙන, දෙවිඳුන්ගේ කෝපය සංසිඳෙන තුරු ස්වල්ප කලක් සැඟවී සිටින්න!
21ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක;
රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය.
පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.

Currently Selected:

යෙසායා 26: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in