නික්මයාම 16:1-11
නික්මයාම 16:1-11 NRSV
මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය. ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ. ඔව්හු ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක. එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක. මෝසෙස් හා ආරොන් මුළු ඉශ්රායෙල් ජනයාට කතා කොට, “ඔබ හැම මිසර දේශයෙන් පිටත ගෙනාවේ සමිඳාණන් වහන්සේ බව අද සවස ඔබ දැනගන්නහු ය. උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ. මෝසෙස් යළිත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය. ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය. ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි. සමිඳාණන් වහන්සේ ද මෝසෙස්ට කතා කොට





