YouVersion Logo
Search Icon

නික්මයාම 15

15
මෝසෙස්ගේ ජය ගීතය
1 # එළිද 15:3 එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ.
සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක.
2 # ගීතා 118:14; යෙසා 12:2 සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති;
එතුමාණෝ මා විමුක්තිය වෙති;
මාගේ දෙවිඳාණෝ ය.
මා දෙවිතුමන් මම පසසමි.
මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.
3සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ.
4එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක.
උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.
5ගැඹුරු සමුදුර ඔවුන් වසාගති;
ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ.
6සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය.
සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය.
7ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක.
ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි.
8ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි.
දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි.
මුහුදු ගැබේ ජල කඳ මිදිණි.
9සතුරා මෙසේ උදන් අනයි:
“මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
10ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති.
ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.
11සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද?
ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
12ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති.
13ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක;
බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.
14මේ ඇසූ ජනතාවෝ වෙව්ලති;
පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;
15ඒදොම්හි අධිපතීහු බියපත් වෙති;
මෝවබ් බලවත්හු වෙව්ලති;
සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති.
16භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය;
ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක.
ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.
17සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.
18සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක.
19පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ. 20ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ. 21මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළා ය:
“සමිඳුන් හට ගී ගයන්න, එතුමාණෝ තෙද මහිමයෙන් ජයගත් සේක;
අසරුවන් හා අස් සෙන් මූදට හෙළූ සේක.”
කරදිය උල්පත
22මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි. 23ඔවුන් මාරා නම් ස්ථානයට පැමිණි නමුත් එහි ජලය කරදිය වූ බැවින් එය බීමට නුපුළුවන් විය. ඒ ස්ථානයට මාරා යන නම දෙන ලද්දේ එබැවිනි. 24එවිට සෙනඟ මෝසෙස්ට විරුද්ධ ව කොඳුරමින්, “අප බොන්නේ මොනවා දැ”යි ඇසූ හ. 25මෝසෙස් සමිඳාණන් වහන්සේට අයැදුම් කළ විට, උන් වහන්සේ ඔහුට ගසක් පෙන්නූ සේක. ඔහු එය ජලයට දැම්මේ ය; ජලය මිහිරි විය.
තවද, උන් වහන්සේ එහි දී ඔවුන්ට නියෝගයක් හා පණතක් දුන් සේක; එහි දී ඔවුන් පරීක්ෂා කළ සේක. 26උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
27ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy