YouVersion Logo
Search Icon

එස්තර් 5:1-8

එස්තර් 5:1-8 NRSV

තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය. එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය. එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය. එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය. එවිට රජ කතා කරමින්, “එස්තර්ගේ කැමැත්ත කරන පිණිස හාමාන් ඉක්මනින් කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට පැමිණියෝ ය. රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, “ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය. එවිට එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.

Free Reading Plans and Devotionals related to එස්තර් 5:1-8