YouVersion Logo
Search Icon

එස්තර් 2:5-11

එස්තර් 2:5-11 NRSV

බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත් ජායීර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් ජුදෙව්වෙක් සූසා නම් අගනුවර සිටියේ ය. ඔහු වනාහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් අල්ලාගනු ලැබ, ජුදාහි රජ වූ ජෙකොනියා සමඟ ගෙනෙනු ලැබූ අය අතර වූවෙකි. ඔහු තමාගේ බාප්පාගේ දුව වන හදස්සා එනම්, එස්තර් දරුකමට හදාගත්තේ ය. මන්ද, ඇගේ පියා වත්, මවු වත් ජීවත් ව සිටියේ නැත. ඈ වනාහි ශෝභන, රූපසම්පන්න තැනැත්තියක් වූවා ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාගේ දුවක වශයෙන් හදාගත්තේ ය. රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය. ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය. එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය. එස්තර්ගේ සැපසනීප කෙසේ ද කියාත්, ඈට කුමක් සිදු වේ ද කියාත් දැනගන්න පිණිස මොර්දෙකයි අන්තඃපුරයේ මළුව ඉදිරියේ දිනපතා ඔබමොබ ­සක්මන් කෙළේ ය.

Free Reading Plans and Devotionals related to එස්තර් 2:5-11