ක්‍රියා 27:33-38
ක්‍රියා 27:33-38 NRSV
පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ.





