YouVersion Logo
Search Icon

ක්‍රියා 11:4-18

ක්‍රියා 11:4-18 NRSV

එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙළින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කී ය: “මම ජොප්පා නුවර යාච්ඤා කරමින් සිටි විට අහසෙන් බස්වන ලද සතර කොණින් බැඳුණු මහත් රුවලක් වැනි දෙයක් පහත් වෙනවා දර්ශනයකින් දිටිමි. එය මා ළඟට ම පැමිණියේ ය. මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි. එවිට, ‘පේදුරු නැඟිට, මරා, කන්නැ’යි මට කියන ශබ්දයකුත් ඇසීමි. මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි. එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය. තුන් වරක් ම මෙය සිදු විය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේ ය. “එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ. ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු. එවිට ඔහු, තමාගේ ගෙයි දේව දූතයා සිටිනු දුටු හැටිත්, ‘ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න; ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය. මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක. “එකල, ‘ජොහන් බව්තීස්ම-ස්නාපනය කෙළේ වතුරෙන් ය. ඔබ බව්තීස්ම-ස්නාපනය ලබන්නේ ශුද්ධාත්මයෙන් ය’යි සමිඳාණන් වහන්සේ වදාළ වචනය මට මතක් විය. එබැවින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාව ම දුන් සේක් නම්, දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක් දැ”යි කී ය. ඔව්හු ඒ අසා නිහඬ වූ හ. “එසේ නම් විජාතීන්ටත් දෙවියන් වහන්සේ ජීවනය සලසන පසුතැවී සිත් හරවා ගැනීමක් දුන් සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 11:4-18