YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 2:1-8

2 තෙසලෝනික 2:1-8 NRSV

සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ. ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය. මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? ඒ නොපනත්කමේ මනුෂ්‍යයා නියම කාලයේ දී ප්‍රකාශ වන පිණිස, දැනට ඔහු වළක්වාලන්නේ කිමෙක් දැ යි ඔබ දන්නහු ය. නොපනත්කමේ අබිරහස දැනුදු එසේ ම ක්‍රියා කරයි. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු, රහසිගත කිසිවක් නොපවතී. එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.

Video for 2 තෙසලෝනික 2:1-8

Free Reading Plans and Devotionals related to 2 තෙසලෝනික 2:1-8