YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 9:1-10

2 සාමුවෙල් 9:1-10 NRSV

දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය. රජ ද, “සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය. එවිට, “ඔහු කොතැන දැ”යි රජ ඔහුගෙන් ඇසී ය. ශීබා පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදර සිටී ය”යි රජුට කී ය. එවිට දාවිත් රජ පණිවුඩ යවා, ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේ ය. සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, “මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. “ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය. දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය. ඔහු වැඳ කතා කොට, “මා වැනි බලු කුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක් දැ”යි ඇසී ය. එවිට රජු සාවුල්ගේ වැඩකාරයා වන ශීබාට හඬගසා, “සාවුල්ටත්, ඔහුගේ මුළු වංශයටත් අයිති ව තිබුණු සියල්ල ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට දෙන්නෙමි. එබැවින් ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට කෑම කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝ ද ඔබේ වැඩකාරයෝ ද ඔහු උදෙසා බිම් වගා කොට එහි අස්වැන්න රැස් කරගන්න. එහෙත්, ඔබේ ස්වාමියාගේ පුත් මෙපිබොෂෙත් මාගේ මේසයේ කෑම කනු ඇතැ”යි කීවේ ය. ශීබාට පුත්‍රයෝ පසළො‍ස්දෙනෙක් හා වැඩකාරයෝ විසිදෙනෙක් සිටියහ.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 9:1-10