YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 7:1-11

2 සාමුවෙල් 7:1-11 NRSV

දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය. එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය. එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය. තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය. උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: ‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද? “එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි. නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නො‍ලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නො‍කරන්නාහ. එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 7:1-11