YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 13:1-17

2 සාමුවෙල් 13:1-17 NRSV

ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නො‍න් ඈට ප්‍රේම කෙළේ ය. අම්නො‍න් තමාගේ සහෝදරී වූ තාමාර්ට ප්‍රේම කළ නිසා අසනීප වන තරම් සිත් වේදනාවෙන් සිටී ය. ඈ කන්‍යාවක වන බැවින් ඈට කිසිවක් කිරීම දුෂ්කර බව අම්නො‍න්ට පෙනුණේ ය. දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නො‍න්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි. ඔහු අම්නො‍න්ට කතා කොට, “රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවන්නේ මන් ද? මට කියන්නේ නැද්දැ”යි ඇසී ය. එවිට අම්නො‍න්, “මාගේ සහෝදර අබ්සලොම්ගේ සහෝදරිය වන තාමාර්ට මම ආලය කරමි”යි ඔහුට කී ය. ජොනාදාබ් ද පිළිතුරු දෙමින්, “ඔබ ලෙඩින් සිටින්නා සේ ඔබේ යහනේ වැතිර සිට, ඔබේ පියාණන් ඔබ බලන්නට ආ කල, ඔහුට කතා කොට, ‘මාගේ සහෝදරී වන තාමාර් මා වෙත අවුත් මට කෑම දෙන්නටත්, මට පෙනෙන ලෙස කෑම පිළියෙළ කරන්නටත්, ඇගේ අතින් එය කන්නටත් අවසර දුන මැනවැ’යි ඔහුට කියන්නැ”යි කීවේ ය. මෙසේ අම්නො‍න් ලෙඩින් සිටින්නා සේ වැතිර සිටියේ ය. රජු අම්නො‍න් බලන්නට ආ කල, “මාගේ සහෝදරී වන තාමාර්ගේ අතින් ම මට කන්නට පුළුවන් වන පිණිස ඈ අවුත් මා ඇස් ඉදිරියේ ම රොටි දෙකක් සාදන්නට ඈට අවසර දුන මැනවැ”යි කී ය. එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නො‍න්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය. එවිට තාමාර් තමාගේ සහෝදර අම්නො‍න්ගේ ගෙට ගියා ය. ඔහු නිදා සිටියේ ය. ඈ පිටි රැගෙන අනා, ඔහුගේ ඇස් ඉදිරියෙහි දී රොටි සාදා, පුළුස්සා, ඇතිලිය ගෙනවුත් ඔහු ඉදිරියෙහි ඒවා බෙදා දුන්නා ය. එහෙත්, ඔහු කන්නට අකමැති විය. අම්නො‍න්, “හැම දෙනා ම මා වෙතින් පිටතට යන්නැ”යි කී ය. එවිට සියලු දෙනා ම ඔහු වෙතින් පිටතට ගියහ. අම්නො‍න් කතා කරමින්, “මා ඔබේ අතින් කන පිණිස, කෑම ඇතුළු ගෙට ගෙනෙන්නැ”යි තාමාර්ට කීවේ ය. තාමාර් ඈ සෑදූ රොටි ගෙන ඇතුල් ගෙයි සිටි ඇගේ සහෝදර අම්නො‍න් ළඟට ගෙන ගියා ය. ඒවා ඔහුට කවන්නට ළඟට ගෙන ගිය විට ඔහු ඈ අල්ලා, “මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැ”යි ඈට කී ය. එවිට ඈ කතා කොට, “මාගේ සහෝදරය, එසේ නො‍වේවා. මට අවනම්බු නො‍කරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නො‍කරන්න; එසේ කළො‍ත්, මා මාගේ නින්දාව සඟවාගන්නේ කෙසේ ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක් කෙනෙකු මෙන් වන්නෙහි ය. ඒ නිසා රජ්ජුරුවන්ට කතා කරන්න; ඔහු මා ඔබට නො‍ දී සිටින්නේ නැතැ”යි කීවා ය. එහෙත්, ඔහු ඇගේ කීමට සවන් නො‍ දී, ඈට වඩා ශක්තිමත් බැවින් බලහත්කාරකමින් ඈ දූෂණය කළේ ය. එවිට අම්නො‍න් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. “නැඟිට පලයන්නැ”යි අම්නො‍න් ඈට කී ය. ඈ කතා කොට, “එසේ නො‍කරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො‍ දී, තමාට සේවය කළ වැඩකාරයාට අඬගසා, “මේ ස්ත්‍රිය මා වෙතින් පිටතට හැර, දොර අගුල ලාපන්නැ”යි කී ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 13:1-17