YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 1

1
සාවුල්ගේ මරණය දාවිත්ට සැළ වීම
1සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. 2තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය. 3“ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය.
4එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.
5එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය.
6 # 1 සාමු 31:1-6; 1 වංශා 10:1-6 එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, “මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ. 7ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසී ය. ‘මම මෙහි ය’යි මම උත්තර දිනිමි. 8‘ඔබ කවුදැ’යි ඔහු මාගෙන් ඇසී ය. ‘මම අමලෙක් ජාතිකයෙක්මි’යි ඔහුට පිළිතුරු දිනිමි. 9ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරන්න. මන්ද, මට තවමත් පණ තිබුණත් මම බොහෝ වේදනාවෙන් පසු වෙමි’යි කී ය. 10එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. මා එසේ කෙළේ, ඔහු වැටුණු වහා ම ජීවත් නොවන බව සහතික ලෙස මා දැන සිටි බැවිනි. මම ඔහුගේ හිස මත තිබුණු කිරීටය ද අතේ දමා තිබුණු වළල්ල ද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනාවෙමි”යි කීවේ ය.
11එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ. 12ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
13දාවිත් තමාට ඒ සිද්ධිය සැළ කළ තරුණයාට කතා කොට, “ඔබ කොහේ කෙනෙක් දැ”යි ඇසී ය. “මම විදේශිකයෙකු වන අමලෙක් ජාතිකයෙකුගේ පුතෙක් වෙමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.
14දාවිත් ද, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා නැසීමට භය නැති ව ඔබේ අත එසෙව්වේ කෙසේ දැ”යි ඔහුට කියා, 15තරුණයන්ගෙන් එක් කෙනෙකුට අඬ ගසා, “ඔබ ගොස් ඔහුට පහර දෙන්නැ”යි කී ය. ඔහු ද පහර දී ඒ තරුණයා මැරුවේ ය. 16දාවිත් කතා කරමින්, “මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.
දාවිත්ගේ විලාප ගීය
17සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගීය ගයමින් දාවිත් වැලපිණි. 18#ජෝෂු 10:13ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත.
19“අහෝ, ඉශ්රායෙල් දේශය!
ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත.
අහෝ!
බලවතුන් වැටුණු හැටි!
20ඒ ගැන ගාත්හි නො‍කියන්න;
අෂ්කෙළො‍න් වීදිවල පළ නො‍කරන්න;
එසේ කළො‍ත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත;
විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.
21එම්බා ගිල්බෝවා කඳු හෙල්!
තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා!
එහි කෙත්වතු පාළු වී යේ වා!
මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත.
සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නො‍කර ඇත.
22එහෙත්, මරන ලද්දවුන්ගේ ලෙයින් ද සෙබළුන්ගේ තෙලින් ද එය ආලේප කර ඇත.
ජොනතන්ගේ දුන්න මාරක අවියක් විය.
සාවුල්ගේ කඩුව ද ජයෙන් තොර ව හැරී නාවේ ය.
23සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ.
ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ.
ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ;
සිංහයන්ට වඩා බලවත් වූ හ.
24ඉශ්රායෙල් දූවරුනි, පියකරු රතු වස්ත්‍ර ඔබට පැළඳවූ, ඔබේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසූ සාවුල් ගැන හඬන්න.
25අහෝ, බලවතුන් රණ බිම මැද දී වැටුණු හැටි!
අහෝ ජොනතන්!
ගිරිකුළු මුදුනෙහි ඔබ මැරුම් කෑවෙහි ය.
26මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි.
ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය.
මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය;
වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.
27අහෝ, බලවතුන් වැටුණු හැටි!
යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy