YouVersion Logo
Search Icon

2 රාජාවලියේ 2

2
එලියා ස්වර්ගයට ගෙනයනු ලැබීම
1තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය. 2එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය.
එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.
3බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය.
4එලියා, ඔහුට කතා කොට, “එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ.
5ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, “එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි.
6එලියා ද කතා කොට, “සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය.
ඔහු උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ.
7දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පණස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය. 8එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ. 9#ද්වි.නී. 21:17තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, “ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, “ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය.
10ඔහු ද, “ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහි ය. එහෙත්, ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේ ය; නැතහොත්, එසේ නොවන්නේ යැ”යි කී ය.
11තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය. 12#2 රාජා 13:14 එලිෂා ඒ දැක, “ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය.
13එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේ ය. 14ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, “එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය. 15ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ‍ ය. 16ඔව්හු එලිෂාට කතා කොට, “මෙහි ඔබේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පණස්දෙනෙක් සිටිති. ඔව්හු ගොස් ඔබේ ස්වාමියා සොයත් වා. සමහර විට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ගෙන ගොස් යම්කිසි කන්දක් පිට වත්, යම්කිසි මිටියාවතක වත් දමන්නට ඇතැ”යි ඔහුට කී හ.
17ඔහු ද, “කිසි කෙනෙකු නොයවන්නැ”යි කී ය. එහෙත්, ඔහු ලජ්ජාවට පත්වන තුරු ම ඔවුන් ඔහුට කරදර කළ බැවින්, “යවන්නැ”යි ඔහු කී ය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පණස්දෙනෙකු යැවූ හ. ඔව්හු තුන් දවසක් සෙවූ නමුත් ඔහු හමු නො වී ය. 18ඉන්පසු ඔව්හු ජෙරිකෝවේ නැවතී සිටි එලිෂා ළඟට හැරී ආ හ. ඔහු ද, “නොයන්නැ යි මා ඔබට කීවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
එලිෂා කළ හාස්කම්
19ඒ නුවර වැසියෝ එලිෂාට කතා කොට, “මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්න ය. එහෙත්, වතුර අපවිත්‍ර ය. එයින් ගබ්සා ඇති වන්නේ ය”යි කී හ.
20ඔහු ද කතා කොට, “අලුත් සැළියක් මා ළඟට ගෙනවුත් එහි ලුණු දමන්නැ”යි කී ය. ඔව්හු ද එය ඔහු ළඟට ගෙනාවෝ ය. 21ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, “ ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය. 22මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා පිරිසිදු ව පවතී.
23ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, “පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය.
24ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.
25ඔහු එතැනින් කර්මෙල් කන්දට ගොස් එතැනින් සමාරියට හැරී ආවේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy