YouVersion Logo
Search Icon

1 රාජාවලියේ 22:29-40

1 රාජාවලියේ 22:29-40 NRSV

මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට ගියෝ ය. ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් වළාගෙන යුද්ධයට පැමිණෙමි. එහෙත්, ඔබ ඔබේ ම වස්ත්‍ර පැළඳගත මැනවැ”යි කීවේ ය. එසේ ඉශ්රායෙල් රජ වෙස් වළාගෙන යුද්ධයට ගියේ ය. සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි. තවද, රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු කල, “මොහු ඉශ්රායෙල් රජ ම ය”කියා ඔහුට විරුද්ධ ව සටන් කරන්නට හැරුණෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. ඒ ඉශ්රායෙල් රජු නොවන බව දැක රථාධිපතීහු ඔහු වෙතින් හැරි ගියෝ ය. එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන්‍ දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ‍ තුවාළ ය”යි කී ය. ඒ දවසේ යුද්ධය තදබල විය. රජතුමා සිරියන්වරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබ සවස මළේ ය. තුවාළයෙන් රථයේ පතුලට ලේ ගලාගෙන ගියේ ය. එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී. මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී. තවද, ඔව්හු සමාරියේ පොකුණෙන් රථය සේදූ හ. සමිඳාණන් වහන්සේ වදාළ වචනය හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑහ. වේශ්‍යාවෝ‍ එහි ස්නානය කළහ. ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.