රෝම 9:14-24
රෝම 9:14-24 SROV
එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා. මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක. ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ. මක්නිසාද: නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම නුඹ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ. මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක. එසේවී නම් උන්වහන්සේ තවම දොස් තබන්නේ මක්නිසාද? උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටින්නේ කවුදැයි නුඹ මට කියනවා ඇත. නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද? එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද? දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද?





