YouVersion Logo
Search Icon

ගීතාවලිය 9

9
ධර්මිෂ්ඨ විනිශ්චය ගැන ස්තුතිකිරීම
නායක වාද්‍යකරුටයි; මුත්ලබ්බෙන් නම් වෘත්තයයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි;
ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.
2ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි;
මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
3මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.
4මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක;
ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක.
5ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක.
6සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය;
ඒවා ගැන සිහිවීම පවා නැතිවිය.
7එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක.
උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක.
8උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චයකරනසේක, අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වාදෙනසේක.
9 ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක;
10ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය;
මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.
11සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්;
සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
12මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක.
දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.
13මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද,
14 ස්වාමිනි, මට කරුණාකළ මැනව;
මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.
15ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති.
ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.
16 ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක;
දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.
17දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය.
18මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය.
19 ස්වාමිනි, නැගුටුණ මැනව;
මනුෂ්‍යයා ජය නොගනීවා.
ජාතීහු ඔබ ඉදිරියේ විනිශ්චයකරනු ලබත්වා.
20 ස්වාමිනි, ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in