ගීතාවලිය 7:1-9
ගීතාවලිය 7:1-9 SROV
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ සරණ කොට ගනිමි. මා ලුහුබැඳ එන්නාවූ සියල්ලන්ගෙන් මා ගළවා නිදහස්කළ මැනව. නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය. මාගේ දෙවිවූ ස්වාමිනි, මම මේක කෙළෙම්නම්; මා අත අයුතුකමක් ඇත්නම්; මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.) සතුරා මාගේ ආත්මය ලුහුබැඳ අල්වා අසුකර ගනීවා; එසේය, ඔහු මාගේ ප්රාණය බිමදමා, පාගා, මාගේ ගෞරවය ධූලියෙහි හෙළාවා. ස්වාමිනි, ඔබගේ උදහසින් නැඟුටුණ මැනව, මාගේ එදිරිකාරයන්ගේ කෝප වේගයට විරුද්ධව සිටිය මැනව. මා උදෙසා පිබිදුණ මැනව; ඔබ විසින් විනිශ්චය නියමකර තිබේ. ජන සමූහයෝ රැස්ව ඔබ වටකර සිටිත්වා. ඔබද ඔවුන් මතුයෙන් උසස්ථානයට නැවත වැඩිය මැනව. ස්වාමීන්වහන්සේ මනුෂ්යජාතීන්ට යුක්තිය සලසා දෙනසේක. ස්වාමිනි, මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම පරිද්දෙන් මා විනිශ්චයකළ මැනව. අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.





