YouVersion Logo
Search Icon

ගීතාවලිය 41:1-13

ගීතාවලිය 41:1-13 SROV

දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක. ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව. ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක. මම කථාකොට: ස්වාමිනි, මට කරුණාකළ මැනව. ඔබට විරුද්ධව පව්කෙළෙමි, එබැවින් මාගේ ආත්මය සුවකළ මැනවයි කීමි. මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කථාකරමින්: කවදා ඔහු මැරෙන්නේද? කවදා ඔහුගේ නාමය මැකෙන්නේදැයි කියති. ඔහු මා බලන්ට ආවොත් නිෂ්ඵල දේ කථාකරයි; ඔහුගේ සිත අයුතුකම් රැස්කරගනියි. ඔහු පිටත යන කල එය ප්‍රකාශකරයි. මට වෛරවෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති. ඔව්හු මට අන්තරායකිරීමට උපා යොදති. නපුරු ලෙඩක් මොහුට වැළදී තිබේ; ඔත්පළව ඉන්න මොහු ආයෙත් නොනැගිටින්නේයයි කියති. එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය. නුමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස, ස්වාමිනි, මට කරුණාකොට මා නැගිටෙවුව මැනව. මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 41:1-13