YouVersion Logo
Search Icon

හිතෝපදේශ 8

8
ප්‍රඥාවේ විස්තර වර්ණනාව
1ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද?
ඥානයද ඇගේ හඬ නොනගින්නීද?
2ඈ මග අසල උස් තැන්වල මුදුනෙත් මංසන්ධිවලත් සිටින්නීය;
3නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ ශබ්දනගා කියන්නී:
4මනුෂ්‍යයෙනි, නුඹලාට අඬගසමි;
මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ පවත්වමි.
5අඥානයෙනි, ඥානය ලබාගන්න;
මෝඩයෙනි, තේරුම් ඇති අය වෙන්න.
6අසන්න, මක්නිසාද මම උතුම් කාරණා කියන්නෙමි;
මාගේ තොල්වලින්ද හරි කරුණු නික්මෙන්නේය.
7එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත;
දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය.
8මාගේ මුඛයේ සෑම වචන ධර්මිෂ්ඨය;
ඒවා අතරෙහි වංකවූ හිතුවක්කාරවූ කිසිවක් නැත.
9ඒ සියල්ල නුවණ ඇත්තාට පැහැදිලිව, දැනගැන්ම ලබාගන්නන්ට හරිව පෙනෙන්නේය.
10රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න.
11මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය;
ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.
12ප්‍රඥාව වන මම නුවණ සමඟ වාසයකොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි.
13 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය.
උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
14මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ.
මම නුවණය, මට පරාක්‍රමය තිබේ.
15මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති.
16මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.
17මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි;
මා සොයන්නන්ට මම සම්බවන්නෙමි;
18වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.
19රන්වලටත් පිරිසිදු රත්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය.
20මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්ටද, ඔවුන්ගේ ගබඩා පුරවන්ටද,
21මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි.
22 ස්වාමීන්වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන්වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී මා පිහිටෙවුසේක.
23පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි.
24ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි.
25කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්,
26උන්වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.
27උන්වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි.
උන්වහන්සේ ගැඹුර මතුයෙහි චක්‍රයක් ඇන්ද කලද,
28ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද,
29මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද,
30මම උන්වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි;
සෑමකල්හිම උන්වහන්සේ ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්, දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීමි.
31උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි.
32එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න.
මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය.
33ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.
34දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
35මක්නිසාද මා සම්බවන අයට ජීවනය සම්බවෙයි, ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලබාගන්නේය.
36නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය;
මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in