හිතෝපදේශ 13:13-25
හිතෝපදේශ 13:13-25 SROV
දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි. ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය. හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය. බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි. දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි. අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි. ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය. ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය. විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ. සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ. දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති. ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය. ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.





