YouVersion Logo
Search Icon

පිලිප්පි 1

1
ආචාරකිරීම, ස්තුතිදීම සහ යාච්ඤාකිරීම
1ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්: 2අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
3නුඹලා මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්, 4පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන, 5නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි. 6නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි. 7නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි. 8එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම්කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක. 9යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව, 10උතුම්වූ දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්, 11නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.
ප්‍රේරිත තැන හිරඅඩස්සිවී සිටීමෙන් ශුභාරංචිය පැතිරයාම
12සහෝදරයෙනි, මට සිදුවූ කාරණා වැඩි වශයෙන් ශුභාරංචියේ දියුණුවීමටම හැරී තිබෙන බව නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි. 13මෙසේ මාගේ බැඳුම් ක්‍රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ. 14ස්වාමීන්වහන්සේ තුළවූ සහෝදරයන්ගෙන් වැඩිදෙනාද මාගේ බැඳුම් නිසා ධෛර්ය ලැබ, දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීතවී සිටිති. 15සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරති. 16එක පක්ෂයක් මා ශුභාරංචිය ගැන උත්තරදෙන්ට සිටින බව දැන ප්‍රේමයෙන්ද, 17අනික් පක්ෂය මාගේ බැඳුම්වලදී මට පීඩා උපදවන්ට සිතා පිරිසිදුලෙස නොව පක්ෂවාදිකමෙන්ද, ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකරති.
ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලැබීම ගැන ප්‍රේරිත තැනගේ ප්‍රීතිය
18ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක; ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි. 19මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි. 20ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය.
ජීවිතය නොහොත් මරණය, වඩා හොඳ කොයි එකද?
21මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය. 22නුමුත් මාංසයෙහි ජීවත්වීම [මාගේ කොටස නම්], මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි. 23නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය. 24නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑකෙරේ. 25මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි නුඹලාගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා නුඹලා සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි. 26මෙසේ වන්නේ, මා ගැන නුඹලාගේ පාරට්ටුකරගැන්ම නැවත නුඹලා වෙතට මාගේ ඊමෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වැඩිවෙන පිණිසය.
ධෛර්යවත්වීමට අනුශාසනාව
27මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න. 28ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද නුඹලාට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය. 29මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට පමණක් නොව, උන්වහන්සේ උදෙසා දුක්විඳින්ටත් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා නුඹලාට වරප්‍රසාදය දෙනලද්දේය. 30මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවූ එම සටනම නුඹලාටත් ඇත්තේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy