YouVersion Logo
Search Icon

ගණන් කථාව 8

8
මණ්ඩපයේ පහන්
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 2නුඹ පහන් දල්වන කල පහන් සතේ එළිය පහන් රුක ඉස්සරහට වැටෙන්ට ඕනෑය කියා ආරොන්ට කියන්නැයි කීසේක. 3ආරොන්ද එසේ කරමින් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස පහන් රුක ඉස්සරහට එළිය වැටෙන ලෙස පහන් දැල්වූයේය. 4පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.
ලෙවීවරුන්ගේ යුතුකම් සඳහා ඔවුන් පවිත්‍රකිරීම
5 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 6ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් කැඳවාගන ඔවුන් පවිත්‍රකරන්න. 7ඔවුන් පවිත්‍රකරන පිණිස මෙසේ කරන්න–දෝෂ පහකිරීමේ වතුර ඔවුන් පිට ඉසින්න, ඔව්හු දැළිපිහියකින් තමුන්ගේ මුළු ශරීරය බූගා, තමුන්ගේ වස්ත්‍ර සෝදාගෙන තමුන්ම පවිත්‍රකරගනිත්වා. 8එවිට ඔව්හු තරුණ ගොනෙක්ද ඊට අයිති ආහාර පූජාවට තෙල් මිශ්‍ර සිහින් පිටිද ගනිත්වා, නුඹ පාප පූජාවක් පිණිස තවත් තරුණ ගොනෙක් ගෙන, 9සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ලෙවීවරුන් කැඳවාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවත් රැස්කරවන්න. 10නුඹ ලෙවීවරුන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට කැඳවාගත යුතුය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද තමුන්ගේ අත් ලෙවීවරුන් පිට තබත්වා. 11ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය. 12ලෙවීවරු තමුන්ගේ අත් ගොනුන්ගේ හිස් පිට තබත්වා. එවිට නුඹ ලෙවීවරුන් උදෙසා සමඟිකමක් කරන පිණිස එකෙක් පාප පූජාවක් කොටද එකෙක් දවන පූජාවක් කොටද ස්වාමීන්වහන්සේට පූජාකරන්න. 13නුඹ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. 14මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් වෙන්කරන්න. ලෙවීවරු මාගේ වන්නෝය. 15ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න. 16මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි. 17මක්නිසාද මනුෂ්‍යයන්ගෙනුත් මෘගයන්ගෙනුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලෝ මාගේය. මා විසින් මිසර දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඔවුන් මට ශුද්ධය කියා නියමකෙළෙමි. 18එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුලන් වෙනුවට මම ලෙවීවරුන් ගෙන, 19ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක. 20මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද ලෙවීවරුන්ට එසේ කළෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ලෙවීවරුන්ට කළෝය. 21ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය. 22ඉන්පසු ලෙවීවරු ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තමුන්ගේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝය.
23 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 24ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා. 25පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරිමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා; 26කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in