YouVersion Logo
Search Icon

ගණන් කථාව 32

32
රූබෙන් ගාද් සහ මනස්සේ අතර දේශය බෙදාදීම
1රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය. 2එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට: 3ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන, 4අතාරොත්ද දීබොන්ද යාසේර්ද නිම්රාද හෙෂ්බොන්ද එලෙයාලේද සෙබාම්ද නෙබෝද බෙයොන්ද සිව්පාවුන්ට සෑහෙන දේශයක්ය, නුඹේ මෙහෙකරුවන්ට සිව්පාවෝ සිටිති. 5එබැවින් අපි නුඹ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය. 6එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද? 7ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරවවුද? 8දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය. 9ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය. 10ඒ දවසේදී ස්වාමීන්වහන්සේගේ උදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට: 11සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර, 12මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක. 13ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක. 14දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය. 15නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය. 16එවිට ඔව්හු ළංවී කථාකොට: අපි මෙහි අපේ සිව්පාවුන්ට ගාල්ද අපේ බාලයන්ට නුවරවල්ද ගොඩනගන්නෙමුය. 17නුමුත් අපි වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ ස්ථානයට පමුණුවනතුරු ඔවුන්ට පෙරටුව යන්ට සන්නද්ධව සිටින්නෙමුව. අපේ බාලයෝ දේශවාසීන් නිසා බලකොටු සහිත නුවරවල වසන්නෝය. 18ඉශ්‍රායෙල් පුත්‍රයන් එකිනෙකා තම තමාගේ උරුමය හිමිකරගන්න තුරු අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමුව. 19මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය. 20එවිට මෝසෙස් ඔවුන්ට කථාකොට: නුඹලා මේ දේ කරමින්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යුද්ධයට යාමට සැරසී, 21උන්වහන්සේ තමන්ගේ සතුරන් තමන් ඉදිරියෙන් පන්නාදමන තෙක්ද දේශය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටත්කරන තෙක්ද නුඹලා අතරෙන් යුද්ධයට සැරසුණු සියල්ලන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යොර්දානෙන් එතරට ගියොත්, 22පසුව නුඹලාට ආපසු එන්ට පුළුවන, එසේ නුඹලා ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ද ඉදිරියෙහි නිදොස්ව සිටින්නහුය; මේ දේශයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට උරුමයක් පිණිස වන්නේය. 23එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න. 24නුඹලාගේ බාලයන්ට නුවරවල්ද නුඹලාගේ බැටළුවන්ට ගාල්ද ගොඩනගා නුඹලාගේ මුඛයෙන් නික්මුණු දේ කරන්නැයි කීවේය. 25ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද මෝසෙස්ට කථාකොට: අපේ ස්වාමිතුමා අණකරන ලෙස නුඹවහන්සේගේ දාසයෝවන අපි කරන්නෙමුව. 26අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය. 27එහෙත් අපේ ස්වාමිතුමා කියන ලෙස නුඹවහන්සේගේ දාසයෝ සියල්ලෝම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සටනට එතර යන්නෝයයි කීවෝය.
28මෝසෙස්ද ඔවුන් ගැන පූජකවූ එලෙයාසර්ටද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාටද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ටද අණකරමින්, 29ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය නුඹලා ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න. 30එහෙත් ඔවුන් යුද්ධයට සැරසී නුඹලා සමඟ එතරට යන්නේ නැත්නම් ඔව්හු කානාන් දේශයෙහි නුඹලා අතරෙහි උරුම ලබත්වයි කීවේය. 31ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද උත්තරදෙමින්: ඔබේ දාසයන්ට ස්වාමීන්වහන්සේ කී ලෙසම අපි කරන්නෙමුව. 32අපි සන්නද්ධව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය. 33මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය. 34ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද; 35අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද; 36බෙත්-නිම්රා සහ බෙත්-හාරන්ද යන බලකොටු සහිත නුවරවල් සහ බැටළුවන්ට ගාල්ද ගොඩනැගුවෝය. 37රූබෙන් පුත්‍රයෝ හෙෂ්බොන් හා එලෙයාලේද කිරියතායිම්ද; 38නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය. 39මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රයෝ ගිලියද් දේශයට ගොස් ඒක අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමුවෝය. 40මෝසෙස් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ට ගිලියද් දේශය දුන්නේය; ඔහු එහි විසුවේය. 41මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය. 42නොබාද ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන තමාගේ නාමය හැටියට ඊට නොබායයි නම් තැබුවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy