YouVersion Logo
Search Icon

ගණන් කථාව 16

16
කෝරා යනාදීන්ගේ කැරළිගැසීම
1ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද, 2ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට, 3මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, ස්වාමීන්වහන්සේද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය. 4මෝසෙස් ඒ අසා මුහුණින් වැටුණේය. 5ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත. 6මේක කරන්න; කෝරා සහ ඔහුගේ සමාගමේ සියල්ලෙනි, හෙට ධූප භාජන ගෙන, 7ඒවායේ ගින්දර බහා, ස්වාමීන්වහන්සේ ඉදිරියේ එහි සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමීන්වහන්සේ විසින් තෝරාගන්න මනුෂ්‍යයාම ශුද්ධ තැනැත්තා වන්නේය. ලෙවීගේ පුත්‍රයෙනි, නුඹලාගේ ලොකුකම් ඉතා වැඩියයි කීවේය. 8තවද මෝසෙස් කෝරාට කථාකොට: ලෙවීගේ පුත්‍රයෙනි, අසන්න. 9ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයේ මෙහෙය කිරීමටත් සභාවට සේවයකරන පිණිස ඔවුන් ඉදිරියෙහි සිටීමටත් නුඹලා තමන්වහන්සේ ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන්කරගත් එකත්, 10උන්වහන්සේ නුඹ සහ නුඹ සමඟ ලෙවීගේ පුත්‍රයන් වන නුඹේ සියලු සහෝදරයන්ද ළංකර ගත් එකත් නුඹලාට මදිද? නුඹලා පූජක තනතුරත් ගන්ට හදනවාද? 11එබැවින් නුඹත් නුඹේ මුළු සමාගමත් ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්ව සිටිති. නුඹලා විසින් ආරොන්ට විරුද්ධව කොඳුරන්ට ඔහු කවුදැයි කීවේය. 12මෝසෙස් එලියාබ්ගේ පුත්‍රවූ දාතාන්ට සහ අබීරාම්ට අඬගසා ඇරියේය. නුමුත් ඔව්හු: අපි නොඑමුව. 13කාන්තාරයෙහි අප මරන පිණිස කිරිද මීපැණිද ගලා යන දේශයකින් නුඹ අප ගෙනාවා මදිවාට නුඹම අප කෙරෙහි අධිපතියෙක් වෙන්ටත් හදනවාද? 14ඒ ඇර කිරිද මීපැණිද ගලායන දේශයකට නුඹ අප ගෙනාවේවත් කෙත් හා මිදිවතු අපට උරුමකොට දුන්නේවත් නැත. මේ මිනිසුන්ගේ ඇස් උගුලා දමන්ට සිතන්නෙහිද? අපි නොඑමුයයි කීවෝය. 15මෝසෙස් ඉතා උදහස්ව ස්වාමීන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය. 16තවද මෝසෙස් කෝරාට කියනුයේ: නුඹ සහ නුඹේ මුළු සභාවද ආරොන්ද හෙට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට, 17එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයද ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනෙන්නැයි කීවේය. 18එසේ ඔව්හු එකිනෙකා තම තමාගේ ධූප භාජනය ගෙන, ඒවායේ ගිනිබහා, එහි සුවඳ ද්‍රව්‍ය ලා, මෝසෙස් හා ආරොන් සමඟ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටගත්හ. 19කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුණේය.
20 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: 21මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශ කරන පිණිස නුඹලා මොවුන් අතරෙන් වෙන්වන්නැයි කීසේක. 22එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය. 23ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: 24කෝරා හා දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව යන්න කියා සභාවට කියන්නැයි කීසේක. 25එවිට මෝසෙස් නැගිට දාතාන් හා අබීරාම් ළඟට ගියේය; ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු පස්සේ ගියෝය. 26එවිට ඔහු සභාවට කථාකර: මේ දුෂ්ට මනුෂ්‍යයන්ගේ සියලු පාපවලින් විනාශ නොවෙන පිණිස ඔවුන්ගේ කිසිදෙයකට අතනොගසා ඔවුන්ගේ කූඩාරම් වෙතින් අහක් වෙන්නැයි කීවේය. 27එසේ ඔව්හු හැම අතින්ම කෝරාගේද දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව ගියෝය. දාතාන්ද අබීරාම්ද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ ළාබාලයෝද පිටතට අවුත් තමුන්ගේ කූඩාරම් දොරකඩ ළඟ සිටියෝය. 28මෝසෙස්ද: මේ සියලු ක්‍රියා කරන පිණිස ස්වාමීන්වහන්සේ මා එවු බව මෙයින් නුඹලා දැනගන්නහුය; මක්නිසාද ඒවා මාගේම කල්පනාවෙන් නොකෙළෙමි. 29සියලු මිනිසුන්ට පොදුවූ මරණයකින් මේ මනුෂ්‍යයන් මැරුණොත් නොහොත් සියලු මිනිසුන්ට සිද්ධවන දේ මොවුන්ට සිද්ධවුණොත් ස්වාමීන්වහන්සේ මා නොඑවුසේක. 30නුමුත් ස්වාමීන්වහන්සේ අමුතු දෙයක් කළොත්, භූමිය ඇගේ මුඛය ඇර ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගත්තොත්, ඔවුන් පණපිටින් පාතාලයට ගියොත්, මේ මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක බව නුඹලා දැනගන්නවා ඇතැයි කීවේය. 31තවද ඔහු මේ සියලු වචන කියා නිමවූ විට ඔවුන් යට තිබුණු භූමිය දෙකට පැළුණාය. 32පොළොව ඇගේ මුඛය ඇර ඔවුන්ද ඔවුන්ගේ පවුල්ද කෝරාට අයිති සියලු මනුෂ්‍යයන්ද ඔවුන්ගේ සියලු සම්පත්ද ගිලගත්තාය. 33මෙසේ ඔව්හුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පාතාලයට කිඳා ගියෝය. පොළොව ඔවුන් වසාගත්තාය, එසේ ඔව්හු සභාව අතරෙන් විනාශ වූවෝය. 34ඔවුන් අවට සිටි සියලු ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ හැඬීම අසා: මෙහි සිටියොත් පොළොව අපත් ගිලගන්නවා ඇතැයි කියමින් පලාගියෝය. 35තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
36 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: 37ධූප භාජන ශුද්ධ නිසා ඒවා ගිනි මැදින් ගෙනෙන්ට පූජකවූ ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ට කියන්න; එහි ගින්න අහකට විසුරුවා දමන්න; 38තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක. 39එසේ පූජකවූ එලෙයාසර් දාගියවුන් ඔප්පුකළ පිත්තල ධූප භාජන අරගත්තේය. 40ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.
සෙනඟ කෙඳිරීම: වසංගතය
41එහෙත් පසුවදා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා ස්වාමීන්වහන්සේගේ සෙනඟ මැරුවහුයයි කීවාය. 42තවද සභාව මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව රැස්ව සිටිද්දී ඔව්හු සම්මුඛවීමේ කූඩාරම දෙස බැලූ කල වලාකුළක් ඒක වසාගෙන තිබුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද දෘශ්‍යමාන විය. 43එවිට මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ආවෝය. 44ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: 45මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශකරන පිණිස මොවුන් අතරෙන් අහක්වෙන්නැයි කීසේක. 46එවිට ඔව්හු මුහුණින් වැටුණෝය. එවිට මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹේ ධූප භාජනය රැගෙන පූජාසනයෙන් ගිනි අරන් එහි බහා, සුවඳ ද්‍රව්‍ය ලා, වහාම සභාව ළඟට ගෙන ගොස් ඔවුන් උදෙසා සමඟිකමක් කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් උදහස නික්ම ගියේය; වසංගතය පටන් ගත්තේයයි කීවේය. 47ආරොන් මෝසෙස් කී ලෙස රැගෙන සභාව මැදට දිවීය; බලව, සෙනඟ අතරෙහි වසංගතය පටන්ගෙන තිබුණේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ලා සෙනඟ උදෙසා සමඟිකමක් කෙළේය. 48එසේ ඔහු මළවුන්ටත් ජීවතුන්ටත් අතරේ සිටියේය; එවිට වසංගතය නැවතුණේය. 49කෝරාගේ කාරණය නිසා මැරුණවුන් ඇර වසංගතයෙන් මැරුණු අය දසසතරදාස් හත්සියයක් වූහ. 50ආරොන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට මෝසෙස් වෙතට හැරී ආවේය. වසංගතය නැවතී තිබුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in